වර්ෂ 2013 ක්වූ ජූලි 04 වැනිදා බ්‍රහස්පතින්දා




පියාඹන හාදයාගේ පෙම් පලහිලව්ව

පියාඹන හාදයාගේ පෙම් පලහිලව්ව

ඔහුට උන්මාදයට පත් පක්ෂියෙකුට මෙන් පියාඹන්නට හැකිය. තරුවක දීප්තියෙන් සිනාසෙන්නට හැකිය. දෙනෙතින් වෑල්ඩින් වැඩ කරන්නට පුළුවන. මායාකාරයෙකු මෙන් අනුන්ගේ හිත් කියවන්නත්,එක්ස් රේ මැෂිමක් මෙන් ශරීරය විනිවිද දකින්නත් පුළුවන. නමුත් වැඩිපුරම ඔහුගේ හිත ගියේ මේ පියාඹන සෙල්ලමටය. කුඩා කළ ජලයේ ගිලී යාමට නියමිත බස් රථයක් තම දෑතින් ඔසවා යහළුවන් බේරා ගත් ඔහු වැඩිහිටියෙකු වී වෙනත් ග්‍රහලෝකයකින් පෘථිවිය ආක්‍රමණය කරන්නට ආ පිටසක්වල ජීවීන් පිරිසකගෙන් මුළු පෘථිවියම බේරා ගනී. හේ වඩාත් ප්‍රකට සුපර් මෑන් නමින් වුවත් මෙවර වෝනර් සහෝදරයන් තැනූ සිනමාපටයේ නම වානේවලින් තැනූ මිනිසා යන අර්ථ දැනවෙන 'මෑන් ඔෆ් ස්ටීල්'ය.

ක්‍රිප්ටෝන ග්‍රහලොව විනාශ වෙන්නට මොහොතකට පෙර පෘථිවිය වෙතට යානයක බහා එවන 'කල් එල්' ඒ ග්‍රහලොවේ 'ජෝරෙල්' සහ 'ලාරා'ගේ දරුවාය. ක්‍රිප්ටෝන ග්‍රහලෝකයේ වසර ගණනාවකට පසුව සිදු වූ ස්වාභාවික දරු උපත මෙයයි. නමුත් සොඩ් සේනාධිපතියාට අවශ්‍ය විද්‍යාඥයෙකු වන ජෝරෙල් සතු ක්‍රිප්ටෝන ග්‍රහ වැසියන්ගේ ජාන සැකැස්ම තමන් අතට ලබා ගැනීමය. එයට විරුද්ධ වන ජෝරෙල් සෙන්පති සොඩ් අතින් මිය යයි.

කල් එල් නිරුපද්‍රිතව පෘථිවියට ළඟා වී ක්ලාක් කෙන්ට් නමින් බෞතීස්ම වෙයි. මාර්තා සහ ජොනතන් ඇසුරේ කුඩා ගොවිපොළක ඇති දැඩි වන ක්ලාක් ගේ කුඩා කාලය අතරින් පතර පමණක් පෙන්වන 'මෑන් ඔෆ් ස්ටීල්' සිනමාපටය වඩාත් නෑකම් කියන්නේ 2001 වසරේ විකාශය වුණු රූපවාහිනී කතා මාලාවක් වූ 'ස්මෝල් විල්' වලටය. ක්ලාක්ගේ ප්‍රාණ සම පෙම්වතිය ලානා ප්‍රධාන චරිතයකට ආසන්න තත්ත්වයකට පත් කර ඒ හැටි විශාල රංගන පරාසයක ඈට හැසිරෙන්නට ඉඩ නොදී ස්වල්ප වශයෙන් අකර්මණ්‍ය කර තබා ගන්නට මේ සිනමාපටයට වුවමණා වී ඇති සැටියකි.

මෑන් ඔෆ් ස්ටීල් නිකුත් වූයේ 'සුපර් මෑන්' කොමික් කතා මාලාවට වසර 75ක් සැපිරීම නිමිති කරගෙනය. එහෙත් ඇති කළ කලබලය තරමටම සිනමාපටය වටින්නේදැයි යළි කල්පනා කළ බැලිය යුතු තරම්ය. සිනමාපටයේ දෘශ්‍ය ප්‍රයෝග ආදිය අතිශය ඉහළ තලයක ඇති බවක් නොපෙනේ. ස්මෝල් විල් රූපවාහිනී කතා මාලාවේ දක්නට ලැබුණු දෘශ්‍ය ප්‍රයෝග තරමටවත් උසස් බවක් දැක ගත නොහැකි වීම කණගාටුදායකය.

ක්‍රිප්ටෝන ග්‍රහලෝකයේ සටන් ඇවිලෙන බව පමණක් මුළු සිනමාපටය පුරාම නරඹන්නාට දැනී යන්නේ එහෙයිනි. ගලා යාමකින් තොරව එහෙන්,මෙහෙන් පුරුද්දා සකස් කරගත් කතාව ක්ලාක් කෙන්ට්ගේ කඩවසම් මුහුණේ ආකර්ශණය කුඩුපට්ටම් කර දමන සැටියකි. එක්කෝ ඔවුන් ස්මෝල් විල් රූපවාහිනී කතා මාලාවේ හරස්කඩක් මෙහි මවන්නට උත්සාහ කරන්නාක් මෙනි. එසේත් නැත්නම් සුපර් මෑන් චරිතය මෙතෙක් අප නොදුටු කෝණයකින් අපට පෙන්වන්නට උත්සාහ කරනවා විය යුතුය. මේ කාරණා ද්විත්වයම සිනමාපටය අවුලට පත් කිරීමට සමත් වී ඇති බවට නම් සැකයක් නැත.

සුපර් මෑන්ගේ ප්‍රේම කතාන්දරය උන් හිටි ගමන් සිනමාපටයේ දර්ශනවලට ඔබ්බවන්නට උත්සාහ කිරීමෙන් ලානා-ක්ලාක් ප්‍රේම වෘතාන්තය මහත් අහම්බයක් බවට රසිකයාට ඒත්තු ගැන්වීම මුළු මහත් ජීවිත කාලයක් පුරාම සුපර් මෑන් චරිතය දැන හුන් රසිකයන්ට කරන අසාධාරණයකි.

සැක් ස්නයිඩර් අධ්‍යක්ෂණය කළ,ක්‍රිස්ටෝපර් නොලාන්,චාල්ස් රෝවන්,එමා තෝමස් සහ ඩෙබෝරා ස්නයිඩර් නිෂ්පාදනය කළ මෑන් ඔෆ් ස්ටීල් තිර රචනය ඩේවිඩ් එස්.ගෝයර්ගේය. ජෙෆ්‍රි සීගල් සහ ජෝ ෂස්ටර් දෙදෙනාගේ කොමික් කතා මාලාව ඇසුරින් නිර්මාණය කළ මේ සිනමාපටයේ සුපර් මෑන් ලෙස රඟන්නේ හෙන්රි කැවිල්ය. එමී ඇඩම්ස් රඟන්නේ ලොයිස් ලේන්ටය. ජෙනරාල් සොඩ්ගේ චරිතය හිමිව ඇත්තේ මයිකල් ෂැනෝන් හටය. මාර්තා කෙන්ට් ලෙස ඩයේන් ලේන් රඟන අතර ජොනතන් කෙන්ට් චරිතයට පණ පොවන්නේ රස්ල් ක්‍රෝය. 2013 ජූනි 14 වැනිදා සිනමාශාලා වෙත නිකුත් වූ මෑන් ඔෆ් ස්ටීල් සිනමාපටය නිකුත් වී මුල් සතිය ඇතුළත උපයා දුන් ආදායම ඇමෙරිකානු ඩොලර් 116,619,362කි. එහි බොක්ස් ඔෆීස් ඇස්තමේන්තුව අමෙරිකානු ඩොලර් 225,000,000කි.

දන්නා කතාවක් යළිත් කීමේ කලාව එතරම් පහසු නැත. එහෙත් සුපර් මෑන්ගේ කවුරුත් දන්නා කතාන්දරයට ක්‍රිප්ටෝන ග්‍රහලොවේ අතොරක් නැති සටන් හා ඔවුන් හිතූ හිතූ සැනින් පෘථිවියට ඒමත්,ක්ලාක් ඔහේ නිකමටම පියාඹමින් ක්‍රිප්ටෝනය බලා යාමත් අතත්‍ය කතාවක රිද්මය බිඳ හෙළන්නක් බදුය. සාමාන්‍යයෙන් ෆැන්ටසි ගණයට වැටෙන කතාන්දරයක පවා ඒ ෆැන්ටසිය තුළ පවා විස්වාසයට ගත හැකි ගලා යාමක්,රිද්මයක් තිබිය යුතුය. ඒ රිද්මය බිඳ වැටුණු පසු යළිත් රසිකයා සිනමාපටය වෙත බැඳ තබා ගැනීම එතරම් පහසු නැත.

ත්‍රිමාණ සිනමාපට පමණක් අවසානයට ඉතිරි වන බව දැනීම කණගාටුදායකය. එක්කෝ මේ කතාව තේරුම් ගැනීමට ස්මෝල් විල් රූපවාහිනී කතා මාලාවේ වෙළුම් 10ම නරඹා තිබිය යුතුය. එසේත් නැත්නම් ක්‍රිප්ටෝන ග්‍රහලෝකයේ කතාව ඉතා වුවමනාවෙන් නරඹා තිබිය යුතුය.

සිනමාපටයේ දෘශ්‍ය ප්‍රයෝග අංශයේ අධීක්ෂක ලෙස කටයුතු කළ ජෝන් ඩෙස්ජාර්ඩන් නියෝජනය කරන්නේ ප්‍රකට වෙටා ඩිජිටල් ආයතනයයි. සිනමාපටයේ අධ්‍යක්ෂ සැක් ස්නයිඩර්ට අවශ්‍ය වූයේ මෑන් ඔෆ් ස්ටීල් වඩාත් තත්‍ය ආකාරයෙන් රූගත කිරීමටය. එහෙත් අතත්‍ය සිනමාපටයක එවැනි තත්‍ය රූගත කිරීමක් මහත් විකාරයක් සේ පෙනෙන්නට ඉඩ ඇති බව ඔහු නොසිතුවාම නොවේ. විශේෂයෙන්ම ක්‍රිප්ටෝන ග්‍රහලොව දැක්වෙන දර්ශනවල ඇති පරිසරය මෙවන් තැනක් තිබිය හැකි තැනට අපව ගෙන යන බව නම් නොකියාම බැරිය. එක් කතාන්දරයක් තුළ කතා බොහොමයක් ඔබ්බවන්නට යාමේ ඵල විපාකය නිසා සරල කතාවක බැරෑරුම් සෙවනැළි මත ප්‍රේක්ෂකයා අතරමං වී යනු පෙනේ.

ලොයිස් ලේන් විසින් ක්ලාක් කෙන්ට් හට අසාමාන්‍ය හැකියාවන් තිබෙන බවත් පිටසක්වල යානයක් දුටු බවත් කියමින් ඩේලි ප්ලැනට් පුවත්පතට ලිපියක් ලියමින් ඩේලි ප්ලැනටය උඩු යටිකුරු කරන්නට සමත් වූ ලොයිස් මේ අරුම හබයට මැදිහත් වන අයුරු එතරම් පුදුමයක් හෝ සංත්‍රාසයක් නොදැනෙන අයුරින් කීමට අධ්‍යක්ෂවරයාට වුවමනා වුණේ මන්දැයි සිතා ගත නොහැකිය. එමෙන්ම පිටසක්වල ජීවීන් ඇති බව පිළිගැනීමට පෘථිවිවාසීන් කිසි කලබලයක් ඇති නොකරම කැමති වීමේ සිට ක්ලාක් කෙන්ට් පිටසක්වල ජීවියෙක් බව සොයාගැනීම මහත් දියාරු ගතියකින් පෙන්වන අතර ක්‍රිප්ටෝන ග්‍රහලොවේ මහත් සටන් පමණක් අතිශය උනන්දුවක්,සංත්‍රාසයක් ඇති අයුරින් ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂවරයා තීරණය කිරීම කණගාටුවට කාරණයකි. ඔවුන් මේ කතාව කියන්නේ සාමාන්‍ය ප්‍රේක්ෂකයාට නොව සුපර් මෑන් කොමික් කියවන,සුපර් මෑන් සිනමාපට නරඹන,රූපවාහිනී කතා මාලා නරඹන ප්‍රේක්ෂකයන්ට වීම වඩාත් විසුළු සහගතය.

පියාඹන හාදයාට අවුරුදු 75 වීම සමරන්නට නිකුත් කළ මෑන් ඔෆ් ස්ටීල් එතරම් උත්කර්ශයක් අත්පත් කරදීමට සමත් නොවීම සුපර් මෑන් රසිකයන් පිස්සු වට්ටන කාර්ණයක් වීමට බොහෝ ඉඩ තිබුණත් මේ වන තෙක් ඒ සඳහා ලැබී ඇති ප්‍රතිචාර විමසා බැලූ විට බහුතරයක් ඒ නොසලකා හැරි බව පෙනේ. එහෙත් විටෙක ගිනි පිඹින මකරෙකු මෙන් ප්‍රේක්ෂකයා වෙතට ගින්දර වීසි කරමින් තම ආදිපත්‍ය පෙන්වන සුපර් මෑන් විසල් තිරය පසු කරමින් අප වෙතට ඇදී එනු පෙනෙන්නේ මෙන්න මේ මොහොතේය.

පෘථිවිය බේරා ගත් වීරයා ඔහු බව මිනිස් පරපුරට හොඳීන් මතක තබා ගත යුතු ආකාරයේ දර්ශනයක් සහිතව සිනමාපටයෙන් සමු ගනී. ඒ විසාල රාමුවක් සහිත කණ්ණාඩි යුගලයක්,එක් උරයකින් එල්ලෙන හම් බෑගයක්,සිනාමුසු මුහුණක් සමඟ ඩේල් ප්ලැනට් පුවත්පතේ රැකියාවට එන ක්ලාක් කෙන්ට්ය. ෆොටෝ කොපි මැෂිමක් සමඟ ඔට්ටු වෙමින් සිට තමන්ගේ මේසය අසලට පැමිණෙන ලොයිස් ලේන්ය. නොකියූ පෙම් කතාව මීළඟ සිනමාපටයෙන් පටන් ගන්නා බවට ඔවුන් ඉඟි කරනවා විය හැකිය. එහෙත් නොපෙනෙන ඈතක ඇති ලොයිස් ලේන්-ක්ලාක් කෙන්ට් පෙම් කතාව වෙනුවෙන් තවත් කාලයක් සුපර් මෑම් ප්‍රේක්ෂකයන් බලා සිටිය යුතුද?

පියාඹන හාදයාගේ රතු සාටකයට අමතක කළ යුතුද?