වර්ෂ 2013 ක්වූ ජූලි 04 වැනිදා බ්‍රහස්පතින්දා




නම අමර වුවද ගුණ සුවඳ තියා වෙන්ව ගියේය

නම අමර වුවද ගුණ සුවඳ තියා වෙන්ව ගියේය

අගෝස්තු මාසය එළැඹීමට නියමිතය. එම මාසයේ මගෙන් වූ පොරොන්දුවක් ඉටු කරන්නට මට නොහැක. ඒ මගේ වරදකින් නොවේ. මගෙන් පොරොන්දුව ගත් ඔහු හිටිඅඩියේ අප හැර ගොස් ඇති බැවිනි. ඔහු අමර හේවා මද්දුමයන්ය. නම අමර වුවද, උපන් බැවින් මිය යා යුතු විය. එහෙත් නමේ පරිදිම ඔහුගේ සිරිත් අමර විය. එතුමන්ට මගේ පොරොන්දුව වූයේ එළැඹෙන අගෝස්තුවේ අපේ ගමට එක්ක ගෙන යන්නටය. දිගු කලකින් වැවක බැස නාන්නටත්, ගැමියන් සමඟ පිළිසඳරේ යෙදෙන්නටත් ඔහුට ඕනෑකමක් තිබිණ.

සතියක්ම එහි ඉන්නට ද ඕනෑ විය. මුලින් එය ඉල්ලීමක් විය. ගමට ගොස් සතියක් ඉන්නට වේලාවක් නැත යැයි මා පැවසූ විට, ඉල්ලීම අණක් විය. අවසානයේ ලබන අගෝස්තුවේ ඒ සඳහා කාලය වෙන්කර ගන්නට ඉටා ගතිමු. ඒ අපේ කර්තෘ මණ්ඩල ප්‍රධාන පරිපාලන නිලධාරී රෝහණ ආර්යරත්න මහතා ද එක්වය. එහෙත් ගිය සිකුරාදා උදෑසනින්ම රෝහණ ආර්යරත්නයන් අදහාගත නොහැකි එකී දුක්බර පුවත පැවසුවේය.

අනුරාධපුර නව නගරයේ ඇති දැවැන්ත ගොඩනැඟිලි අතර විශාලම බිම්කඩ පිහිටියේ දිසාපති කාර්යාලයට අයත්වය. එයට රජරට වැසියන් පවසනුයේ කච්චේරිය යන නමයි. ඒ අවදියේ අනුරාධපුරයේ ප්‍රධාන රජයේ කාර්යාල සියල්ල පිහිටියේ එහිය. එබැවින් එහි තිබූ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මා පියාණන් යද්දී ඔහු අත එල්ලී යාම මගේ සිරිතක් විය. එබඳු එක් දවසක අප එහි දොරටුවෙන් ඇතුල්වෙත්ම එක් මුලාදෑනියෙක් දිව ඇවිත් අවට සිටි හුදී ජනයා පසෙකට තල්ලු කළේය.

‘දිසාපතිතුමා එනවා අයින් වෙනවා’.

ඔහු කෑගැසුවේය. ඔහුගේ මඟ එළි පෙහෙළි කිරීමෙන් පසු නොතේරෙන බසකින් යෑස් සූස් ගාමින් මොනවදෝ කියවමින් ආ ටයිකාර මහත්තයෙක් තවත් මහත්තයෙක් සමඟ ඉක්මන් ගමනින් එළියට ගොස් ලොකු කාර් එකක පසු අසුනට නැඟ ගත්තේය. පසු කලෙක දැනගත් පරිදි මහත්තුරු කතා කරමින් ගියේ ඉංග්‍රීසියෙන්ය. ඒ ඒ කාලයේ ඒ කාලේ වැඩවිසූ දිසාපති උන්නාන්සේලාය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිසාපතිවරුන් අතර මිනිසුන් සමඟ ජීවත් වූ මුල්ම දිසාපතිවරයා එච්. ජී. ෆ්‍රීමන්ය. ෆ‍්‍රීමන් ගේ ජනහිතකාමී බලපෑම කෙතරම් ද යත් මෙරට මහජන ඡන්දයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගිය එකම ඉංග්‍රීසි ජාතිකයා ඔහු විය. එපමණක් නොව යළි මව් රට නොගිය ඔහු සදහටම නිදනවා යැයි කියන්නේ අනුරාධපුර කච්චේරි බිමේ මහ නුග ගහ යටය.

එහෙත් පසු කලෙක එහි ගොඩ වැදුණු ඇතැම් සිංහල දිසාපතිවරු තම රටේ උපන් රජරට ජනතාවගෙන් ඈත්ව වෙනම ජීවත් වන්නට පුරුදුව සිටියහ. එහෙත් දකුණේ මාතර ඉපිද, අනුරාධපුරයේ මහා දිසාපති පදවියට පත් වූ අමර හේවා මද්දුම මහතා රජරට ගැමියකුටත් වඩා ගැමියකු විය. ඔහු මුලින්ම කළේ එහි තමා හමුවට එන ගැමියන්ට ඔහුගේ වාරය එනතුරු වාඩි වී සිටින්නට අසුන් පැනවීමය.

එපමණක් නොව ඈත ගම් නියම් ගම්වල සැරි සරන්නටත්, ඒ ගැමියන් හමුවන්නටත් ඔහු වැඩි මනාපයක් දැක්වීය. දිසාපති පදවියේ සිට, අමාත්‍යාංශ ලේකම් පදවිය දක්වා ද ලංගම සභාපති පදවිය ද ඔහු දැරුවේ එකම පදවි න්‍යායකිනි. බහුජන හිතාය බහු ජන සුඛාය.

මට අමර හේවා මද්දුම මහතා මුණ ගැසෙනුයේ රජරට දී නොවේ. ඒ වන විට එතුමන් සිටියේ සංස්කෘතික අමාත්‍යාංශ ලේකම්වරයා හැටියටය. ඒ අවදියේ ප්‍රවීණ සිනමා විචාරක අනුරාධපුරයේ උපන් ගාමිණී වේරගම සේවය කළ සිංහල විශ්ව කෝෂ කාර්යාලය පිහිටියේ බෞද්ධාලෝක මාවතේය. අමාත්‍යාංශය පිහිටියේත් එහිය. වතාවක් ගාමිණි අයියා සිය අමාත්‍යාංශ ලේකම්වරයා හමුවට යද්දී මා ද කැටිව ගියේය. ඔහු මා හඳුන්වා දුන්නේ ද රජරටම උපන් කොල්ලෙකු හැටියටය. ඒ ආගිය කතාබහ කෙළවර මේ ළෙංගතු මහා පරිපාලන නිලධාරියා මට දිවි හිමියෙන් ගෞරවනීය වැඩිහිටියකු විය. මේ වැඩිහිටිකම කොපමණ ද යත්, මා සරසවියේ සේවයට එන විට රජයේ නිලධාරියකු හැටියට මට අගනා චරිත සහතිකයක් ද නොපැකිළව ලබා දුන්නේය. ඒ දවස්වල ඔහුගේ ආරාධනයෙන් ගුවන් විදුලියේ වැඩ සටහන්වලට ද දායක වන්නට ද මට ඉඩ හසර ලැබිණි. එයින් එක් වැඩසටහනක් වූයේ සත්‍යජිත් රායිගේ අභාවයයි.

අමර හේවා මද්දුම මහතාණන් සමඟ මට සමීපවන්නට වඩාත් වරම් ලැබුණේ සරසවිය සම්මාන උළෙවල් කිහිපයක් ජූරි සාමාජිකයකු ලෙස එතුමන් කටයුතු කරද්දීය. එහිදී එය ඉතා නිරවුල් වගකීමෙන් පිරි රාජකාරියක් ලෙස කටයුතු කරන්නට එතුමාණන් කටයුතු කළේය. පසුගිය සරසවිය සම්මාන උළෙලේ ද ජූරි සාමාජිකයකු ලෙස එතුමන් කටයුතු කළේය. එවර ජූරියේ සම්බන්ධීකරණ කටයුතු කළ මටත්, මගේ අනුප්‍රාප්තිකයා වූ චන්දු ඉඹුලානටත් කිසි කලෙක අත්විඳින්නට නොලැබෙන අත්දැකීමක් ලැබිණ. ඒ පරම්පරා තුනක පරිපාලන නිලධාරීන් තිදෙනකු සමඟ කටයුතු කරන්නට ඉඩ ලැබීමයි. ඒ ලීල් ගුණසේකර මහතාත්, අමර හේවා මද්දුම මහතාත්, මෑතක විශ්‍රාම ගිය ජයන්තා රුක්මණී සිරිවර්ධන මහත්මියත්ය. ලීල් ගුණසේකර මහතා ද ඉතා ඈත අතීතයේ අනුරාධපුර මහ දිසාපති පදවිය දැරුවා පමණක් නොව රජරට පාදක කරගෙන අගනා කෘති දෙකක් ද ගෙන ආවේය.

අමර හේවා මද්දුම නමැති ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියා, ලේඛකයකු ද, සාහිත්‍යධරයකු ද, විචාරකයකු ද විය. සමහර විට මෙරට තනි පුද්ගලයකු සතු දැවැන්තම පුස්තකාලය හිමි වූයේ ද ඔහුටය. එය කාමර තුනක් පුරා විහිදුනකි. පසුගිය සැප්තැම්බරයේදී පොත් ප්‍රදර්ශන සමයේදී සිය ආදරණීය බිරින්දෑ සමඟ මහා පොත් ගොඩක් උසුලා ගෙන යන හේවා මද්දුම ශූරීන් මට හමු විය. මේ ඇතැම් පොතක එන කරුණු කාරණා බොහෝ විට තමාට හිමි මුඛරි වදනින් අප සමඟ කියාපාන අවස්ථාවන් එමටය. අපේ ඇතැම් උගතුනට මහා පොත්ගුල් හිමිව තිබුණ ද ඒ බොහෝදෙනා පොත් එකතුª කරන්නේ විලාසිතාවට විනා කියවන්නට නොවේ. එහෙත් අමර හේවා මද්දුමයන්ගේ මහා පොත් ගුලෙහි ඇති ඇතැම් පොතපත වරක් දෙවරකට වඩා ඔහුගේ පරිශීලනයට ලක් වූ ඒවාය.

ඒ පිරුණුකම ඔහුගේ ජීවිතය පුරා රැඳී පවත්නා බැව් පසුගිය වසර ගණනාවක මුළුල්ලේ මම අත්වින්දෙමි. දැවැන්ත පරිපාලන නිලධාරියාට වඩා ඉහළින් දකුණු ලක ඉපදුන ගැමියා හැමවිටම ඉස්මතුව ආවේය. කොළඹට නුදුරු ඉතා කාර්යබහුල කළුබෝවිල ඔහුගේ ගෙවත්තට පිවිසෙන කෙනෙකුට මේ කොළඹට යාබද නිවසක් නොව ගම්මැද්දක ප්‍රභූ නිවසක් යැයි හැඟීමක් ඇතිවීම වැළැක්විය නොහැක්කේය. එය එතරම්ම ගැමි නිවසක් වූයේය.

වර්තමාන වාණිජ රටාව විදහාපාන විච්චූර්ණ හෝ අලේපනවලින් තොර වූ ඒ නිවසෙහි හතර අත තිබුණේ විවිධ ගස්වැල්ය. රුහුණට පමණක් නොව රජරටට ද එක ලෙස ආදරය කරන්නට පෙළඹෙන මිනිසෙකු ඔහු ගෙන් විද්‍යාමාන වනුයේ එහෙයිනි. එමෙන්ම අමර හේවා මද්දුම නම් පරිපාලන නිලධාරියා අමතක කොට ගැමියා වීම නිසාම ඔහුට ඇතැම් විට ලැබිය යුතු තැන් අහිමි වූ අවස්ථා ද විය. ඒ නොපැකිළව කවුරු තරහා වුව ද කිව යුතු දේ මුහුණටම කියාපෑම නිසාය. අපේ බොහෝ ගැමියන්ගේ ද මේ සිරිත නොවලහා තිබෙන්නකි.

අගෝස්තුව එළැඹෙමින් පවතී. ගමට යන්නට මසිත පෙළඹුවත්, ඒ සඳහා මෙවර මා පෙලඹ වූ අපේ ගැමියන්ගේ ආදරණීය දිසාපතිතුමන් එහි යන්නට නොඑයි. ඔහුට ගමේ වැවක නාන්නටත්, ගැමියන් හමුවන්නටත් අවශ්‍ය වනුයේ අපේ ඇතැම් හිතවතුන්ට මෙන් ජීවිතයේ එදිනෙදා ඒකාකාරිත්වයේ ‘චේන්ජ්’ එකකට නොවේ. ඔහු මිනිසුනට ප්‍රිය කළ බැවිනි. ගමට ප්‍රිය කළ බැවිනි.

මෙරට පරිපාලන ක්ෂේත්‍රයේ සිටි තවත් මහත්මයෙක් අප අතහැර ගියේය. ඔවුන් ඉතිහාසයේ සළකුණු විය. නම අමර වුවත් සොබා දහම අනුව මිය යා යුතුය. එහෙත් ඔවුන්ගේ ගති සිරිත් ද, කළ කී දෑ ද ඉතිහාසය විසින් ‘අමර’ බවට පත් කරනු ලබන්නේය.

රජරටට ආදරය කළ සරසවියට හිතවත් වූ අමර හේවා මද්දුම මහ වියතාණන්ට නිවන් මඟ දුර නොවනු ඇතැයි මම විශ්වාස කරමි.