වර්ෂ 2013 ක්වූ ජූලි 04 වැනිදා බ්‍රහස්පතින්දා




යශෝධාට සන්නාම තානාපති තනතුරක්

යශෝධාට සන්නාම තානාපති තනතුරක්

ජනප්‍රිය රංගන ශිල්පිනී යශෝධා විමලධර්මට වෙළෙඳ නාමයක සන්නාම තානාපති තනතුරක් හිමි වී තිබෙනවා. රංගන කටයුතු සේම ඉදිරියේදී එහි ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කරන්නයි යශෝධා දැන් සූදානම් වෙන්නේ.

වේදිකාව, පුංචි තිරය සේම රිදී තිරයත් එක ලෙස විචිත්‍රවත් කළ ඇය නිවේදිකාවක ලෙස ද ක්ෂේත්‍රයේ අනන්‍යතාව ගොඩ නගා ගත් සම්මානනීය රංගන ශිල්පිනියකි.

‘මීහරක්’ හෙට ලුම්බිණියේ

සුමිත් රත්නායක නාට්‍ය නිර්මාණ ‘මීහරක්’ මංගල දර්ශනය හෙට (05) ලුම්බිණි රඟහලේදී වේදිකාගත කෙරේ.

නලීන් ප්‍රදීප් උඩවෙල, සරත් චන්ද්‍රසිරි, සාරංග දිසාසේකර, සුමිත් රත්නායක, මහේෂ් උයන්වත්ත හා ළමා නළු අදිත ප්‍රනාන්දු රඟන ‘මීහරක්’ මධුකා මඩවල නිෂ්පාදනයකි. - යතේජා

‘සිංහල නාටකක් කලෙයි අලුමයිගල්’ 06 වැනිදා එළි දකී

මෙරට විශිෂ්ට නාට්‍යකරුවන් දොළොස් දෙනෙකු අළලා යාපනය විශ්වවිද්‍යාලයේ භාෂා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් සහ ප්‍රවීණ නාට්‍ය ශිල්පී පරාක්‍රම නිරිඇල්ල විසින් සම්පාදනය කරන ලද ‘සිංහල නාටකක් කලෙයි අලුමයිගල්’ (සිංහල නාට්‍ය කලාවේ යුග පුරුෂයා) කෘතිය මෙම මස 06 වැනිදා සවස 4.30 ට කොළඹ වැල්ලවත්ත රුද්‍රා මාවතේ ලංකා දමිළ සංගම් ශාලාවේදී එළි දැක්වේ.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, ධම්ම ජාගොඩ, හෙන්රි ජයසේන, ආර්. ආර්. සමරකෝන්, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ගාමිණී හත්තොටුවේගම, බන්ධුල ජයවර්ධන, එස්. කරුණාරත්න, චන්ද්‍රසේන දසනායක යන කලාවේදීන්ගේ ජීවන තොරතුරු සහ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ විස්තර මෙම ග්‍රන්ථයට අන්තර්ගතය.

මෙදින දෙසුම් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කන්දයියා ශ්‍රී ගනේෂන් පවත්වනු ලබයි.

උත්සවය අවසානයේදී ජන කරළිය රංගන ශිල්පීන් විසින් ‘භාෂා සහ මෝලි’ නමැති කෙටි නාට්‍යය ද රංගගත වේ.

‘සිංහල නාටකක් කලෙයි ආලුමයිගල්’ ජනකරළියේ ප්‍රකාශයකි.

කන්දේ වීදිය කතා බහ 6 දා මහනුවරදී

සම්මානනීය ලේඛක කපිල කුමාර කාලිංග විසින් ලියූ ‘කන්දේ වීදිය’ නවකතාව මූලික කරගත් කතාබහක් ලබන ජූලි මස 6 දා පැවැත්වේ. 2013 මහනුවර පොත් දැක්මට සමගාමීව ජූලි 6 සෙනසුරාදා පෙරවරු 9.30 සිට 11.30 දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී මෙම කතාබහ පැවැත් වෙන්නේ ජනාධිපති නීතිඥ විජය වික්‍රමරත්න, නීතිඥ චන්ද්‍රසිරි සෙනවිරත්න හා නීතිඥ ශනින්ද්‍රි ඊරියගම යන අයගේ ප්‍රධානත්වයෙනි. ‘කන්දේ වීදිය’ නවකතාව කිංකිණි ප්‍රකාශනයකි.