වර්ෂ 2013 ක්වූ ජූලි 04 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝර්දානයේදී රටවිරුවන් හයක් ටැලන්ට් ස්ටාර් වේදිකාවේ

ජෝර්දානයේදී රටවිරුවන් හයක් ටැලන්ට් ස්ටාර් වේදිකාවේ

චමිත්

දේවිකා

තුසිත

සරත්

නිසංසලා

මංගලිකා

විදෙස් සේවයේ නියුතු වූවන්ගේ කලා හැකියාවන් සඳහා ඉඩකඩ වෙන් කරමින් නිර්මාණය කළ ‘රටවිරුවෝ ටැලන්ට් ස්ටාර්’ වේදිකාව දැන් ඉදිවෙලා තියෙන්නේ ජෝර්දානයේ. එහි තෙවන වැඩසටහන යටතේ තවත් රටවිරුවන් හය දෙනෙක් තම කලා හැකියාවන් එළිදක්වන්න සූදානම්. ලබන ඉරිදා රාත්‍රී 10.00 සිට ස්වර්ණවාහිනි නාලිකාව ඒ වෙනුවෙන් කාලය වෙන්කර අවසන්.

පොළොන්නරුවේ පදිංචි තුසිත සෞම්‍ය කුමාර රටවිරුවෝ වේදිකාවේදී සිය ගායන කුසලතා දක්වන්නට සූදානම්. පාසල් කාලයේදී විෂයක් ලෙස ද සංගීතය හදාරා ඇති සංගීත කණ්ඩායම් සමග ගීත ගායනයෙන් තම හැකියාවන් තව තවත් ඔප් නංවා ගන්නත් පසුබට වුණේ නැහැ. මේ ඔහු එලෙස ලද තවත් අවස්ථාවක්.

දේවිකා යාපා අමරසේකර රටවිරුවෝ වේදිකාවට එක්වෙන්නේ ගායන තරුවක් ලෙසයි. සිය ගායන හැකියාවෙන් ජෝර්දානයේ රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්නට සැරසෙන ඇය සහජ හැකියාව වගේම පාසල් කාලයේ සිට සංගීතය විෂයක් ලෙසත් හැදෑරූ අයෙක්. ගායනයට වගේම නර්තනයටත් විශේෂ දස්කම් දක්වන මිද්දෙනියේ පදිංචි ඇය ජෝර්දානයේ විදෙස් සේවයට එක්වෙන්නේ 2011 වසරේ සිටයි.

තල්ගස්වෙල පදිංචි චමිත් සම්පත් උදය කුමාර රටවිරුවෝ වේදිකාවට පැමිණෙන මීළඟ තරුවයි. ඔහු සිය නර්තනයෙන් රටවිරුවෝ වේදිකාව විචිත්‍රවත් කරන්න සූදානම්. සහජයෙන් ලද හැකියාව පාසලේදී තව තවත් වර්ධනය කර ගත් සම්පත් උදය කුමාරට තම හැකියාව දක්වන්න අවස්ථාව ලබා දුන්නේ රටවිරුවෝ වේදිකාවයි. විදෙස් සේවයට එක් වෙන්නේ 2009 වසරේදීයි.

නිසංසලා නිලුෂිකා මැදවල ගෙදර රටවිරුවෝ වේදිකාවෙන් සිය ගායන කුසලතා දක්වන්නට සූදානම්. අනුරාධපුර කහටගස්දිගිලිය පදිංචි නිසංසලා පාසල් අවදියේ සිටම සංගීතයට වූ ලැදියාවෙන් ඒ පිළිබඳ හැදෑරූ අයෙක්. දැනට ජෝර්දානයේ W N D ඇපරල් ආයතනයේ සේවයේ නිරත ඇය විදෙස් සේවයට එක්වෙන්නේ 2009 වසරේ සිටයි.

මංගලිකා ප්‍රියදර්ශනී රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වේදිකාවට පැමිණෙන්නේ නර්තන අංශයෙන්. කුඩා කාලයේ සිටම නර්තනයට වූ ලැදියාවෙන් ඒ පිළිබඳ හදාරා ඇති ඇයට තම හැකියාවන් එළිදක්වන්න අවස්ථාව සැළසුයේ රටවිරුවෝ වේදිකාවයි. මින්නේරියේ පදිංචි මංගලිකා ප්‍රියදර්ශනී ජෝර්දානයේ සේවයට එක්වෙන්නේ මේ වසර ආරම්භයේ සිටයි.

මැදිරිගිරියේ පදිංචි සරත් ප්‍රේමචන්ද්‍ර මාරසිංහ රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන ගායන තරුවක්. සහජයෙන් ලද ගායන හැකියාව සමඟ පාසල් කාලයේදී විෂයක් ලෙස සංගීතය හදාරා ඇති ඔහු මෙරටදී සංගීත කණ්ඩායමක ගායකයෙකු ලෙස ද කටයුතු කළ අයෙක්. සරත් ප්‍රේමචන්ද්‍ර ජෝර්දානයේ සේවයට එක්වන්නේ මීට දෙවසරකට ඉහතදීයි.