වර්ෂ 2012 ක්වූ අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපාමු

කැදැල්ලෙන් ගිය නුඹට සැමදා ආදරයේ උණුසුම ලැබේවා!

ශ්‍රියන්ත මෙන්ඩිස් - කුසුම් රේණු ආදරණීය දියණිය නිපුනි ප්‍රේක්ෂා මෙන්ඩිස්, අනුර පෙරේරා - ඔමිකා පෙරේරා පුත් ශාන් අමන්ද පෙරේරා සමඟ අතිනත ගෙන නව දිවියකට පා තැබුවාය. ඔබ දෙපළගේ නව දිවියට මෙලෙස සරසවිය සුබ පතන්නීය.

දයාබර සුදු දෝණියේ . . .
‘දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වූ සුබ සිහිනයයි
අභිමානයෙන් කුලගෙට
පිය නගන්නේ
සනුහරේ අභිමානයයි . . .’

රුක්අත්තන මල් සුවඳත් අරගෙන ගෙට ගෙවදින මන්ද මාරුතයේ පාවෙලා ආවේ සුනිල් එදිරිසිංහයන්ගේ මියුරු ස්වරයයි. ඒ ගැයුම ඇසුණු මොහොතේ මට නම් සිතුණේ සුදු දුවේ ඒ ගයන්නේ නුඹටම වගය.

මේ උදෑසන ඉබේම මෙන් මගේ පා එසැ වුණේ නුඹගේ සුවඳ රැඳුණු ඒ නිදන කුටිය දෙසටය. නිදන කුටියට එබී බැලූ මගේ නෙත නතර වූයේ ඔබ ගුලි වී නිදන නිදි යහන මතය.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ මනාල යුවළ හා ශ්‍රියන්ත, කුසුම්, තාරුකී අමායා ඇතුළු පවුලේ සැම.

වෙනදා හිමිදිරියේ ඔබගේ කාමරයට පැමිණෙන ඇසිල්ලේ මගේ ගත දැවටෙන සිහිල් සුළං රැල්ල කියන්නේ ඔබ අවදි වුණු වග නොවේද? විවර කරනා ලද කවුළුව අසලට පැමිණෙන බට්ටිචි ජෝඩුව අදත් පැමිණ ඇත්තේ පුරුද්දට වගෙයි. වෙනදා උන් ගයන සොඳුරු ගී රාවයේ අද ගැබ්ව ඇත්තේ ශෝකයකි. ඒ සුපුරුදු ලෙස ඇසෙන සුදු දුවගේ කට හඬ නෑසෙන නිසා වග නම් රහසක් නොවේ.

උන් යනතුරු යහනට වී බලා සිටි මම කවුළු පියන්පත් විවර කරන්නේ වෙනදා ඔබ සිප ගත් සුළං රැල්ලට කුටියට එනු පිණිසය. කවුළු පියන්පත් අතරින් ඈත පෙනෙන්නේ සුවිසල් අහස් කුසයි. අහස් කුස නැඟෙනා වලාකුළු දෙසම නෙත් යොමා සිටිනා මම එහි මැවෙනා රටා අතර අහම්බෙන් හෝ ඔබගේ සුපුරුදු උවන සැංගී ඇත්දැයි සොයමි. නොඑසේත් නම් ඒ වලා පෙළ අත නුඹ ලියා එවන ලද ලියමනක් සැඟව ඇත්දැයි මම පිරික්සමි.

කඳු පෙළ අතරින් හිරු කුමරු එබී බලනා මේ සොඳුරු යාමයේ මා සිතට පිවිසෙන්නේ මමත් ඔබගේ අප්පච්චීත් ප්‍රේමයෙන් බැඳුණු ඒ සොඳුරු යුගයයි. මා උන්මාද චිත්‍රා ලෙසත්, අප්පච්චී ගාමිණී ලෙසත් ‘පණ්ඩුකාභය’ වේදිකා නාට්‍යයයේ පුහුණුවීම සිදු කෙරුණු ඒ සමය මගේ ජීවිතයේ මෙතරම් දුරක් කැන්දාගෙන ඒමට තරම් සමත් වේ යැයි කිසි දිනක මම නොසිතුවෙමි. අප්පච්චීගෙන් ලැබුණු ප්‍රේමාරාධනය අභියස මම නිරුත්තර වීමි.

 ඒ නිරුත්තර බව මගේ හදවතෙහි වූ සොඳුරු හැඟීම් සියල්ල කියා පෑවාය. අපි ප්‍රේමවන්තයන් වීමු. ඊට නිවෙසියන්ගෙන් ලැබුණු ප්‍රතිචාර හමුවේ අප අන්ත අසරණ වූ අයුරු සිහිවන විට අද ද සියුම් ශෝකයක් මසිත උපදී. ඒ ශෝකය තුනී ව යන්නේ ඒ ප්‍රේම තරගය දිනන්නට අපි වාසනාවන්තයින් වූ නිසාවෙනි. අවසානයෙහි දෙපාර්ශවයේ ආශිර්වාද මැද ඔබගේ අප්පච්චි මා කැන්දාගෙන ආවේ යාපා පටුන ජයගෙන පැමිණි සපුමල් කුමරු සේයි.

ඒ සොඳුරු දිනයන්හි මතක සැමරුමක් සේ සුදු දුවේ නුඹ මා කුස පිළිසිඳ ගත්තේ මගේත්, දුවගේ අප්පච්චිගේත් ජීවිතයට නව අරුතක් ගෙන දෙමිනි. ඔබ කෙතරම් වාසනාවන්ත දරුවකු වී ද යත් ඒ 1987 වසරේ ජුලි කලබල පැවැති සමයයි. රෝහලට මා පිවිසියේ නුඹ මෙලොව එළිය බලන්නට සිටින දිනයට, දින කිහිපයකට කලිනි. නුඹ මෙන්ම මෙලොව එළිය දකින්නට සිටිනා බිලිඳුන් කුස ඔත් මවුවරු සිටියේ භීතියෙනි. ඒ එකල පැවැතියා වූ වෛද්‍යවරුන්ගේ වර්ජනය අප සැමට බලපෑ නිසාවෙනි.

අප නෙත් ඉදිරිපිට මවුවරු හා කලලයන් විනාශ වී ගිය අයුරු හදවතට ඇති කළේ ශෝකයකි. ඒ අතර ඔබ කෙතරම් වාසනාවන්ත වූවා ද යත් නුඹ ලැබෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී සුදු දුවේ නුඹගේ අප්පච්චී වෛද්‍යවරයකු සොයා ගෙන පැමිණියේ අප සියල්ලන් පුදුමයට පත් කරමිනි. රෝහලේදී මා මෙන්ම ප්‍රසූති වේදනාව විඳි එක්තරා මවකට ද පිහිට වෙන්නැයි දූ වෙනුවෙන් මා ඉල්ලීමක් කළේ වෛද්‍යවරයාගෙනි. ඒ ඇගේ දෙනෙතේ වූ බිය මවක ලෙස හඳුනා ගැනීමට තරම් කාරුණික හදවතක් මට හිමි වූ බැවිනි.

සුදුම සුදු පුළුන් කැටියක් සේ ඔබ මෙලොව උපත ලැබුවේ ජුලි 20 වැනිදාය. ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කළ එදින මුළු ලංකාවාසීන්ගේම ජීවිතවලට විශේෂ වූ ඒ දිනයේ ඔබ කිරිකැටි බිලිඳියක සේ මා තුරුලෙහි උණසුමට ගුලි වී උන්නාය. සියලු බාධක ඉවත ලා මවු පදවිය නම් රාජ්ජයේ කිරුළ පළදන්නට මා වාසනාව ලද්දේ නුඹ නිසාමය. අප්පච්චී මා තුරුලෙහි උණුසුමෙහි ගුලි වී සිටි නුඹ දෝතට ගෙන තුරුලු කර ගත්තේ රටක් රාජ්‍යයක් දිනූ රජෙකු මෙනි. කුළුඳුල් දියණිය ලෙසින් අපගේ සොඳුරු කැදැල්ල වෙත පියෑඹූ නුඹව අප හදා වඩා ගත්තේ අපගේ නෙත් දෙක ලෙසිනි.

නෙත් මෙන් රැකගත් මේ චූටි කුරුලු පැටික්කිය දඟකාරියකි. නුඹ පියෙන් පිය නඟා පා ඔසවන අවධියේ සිදු වූ අකරතැබ්බයක් අද මෙන් මගේ හදවත පතුලෙහි තැන්පත් වී තිබේ. රූගත කිරීමකට සහභාගි වී පැමිණි එක් ඇසිල්ලක මා නුඹව අප්පච්චීට භාර දී විනාඩි කිහිපයක් නෙත් පියා ගැනීමට සැරැසුණේ මා වෙලූ තෙහෙට්ටුව නිසාමය. ගත වූයේ නිමේෂයකි.

අප්පච්චී කිහිප වරක්ම මගේ නම කියා කෑගසනු ඇසුණේ සිහිනයෙන් මෙනි. මා පහළට පිවිසෙන විටත්, සිහි නැතිව ඔහුගේ දෙඅත්ල මත හොවාගෙන සිටි ඔබ, රැගෙන යන්නට ලොරියක් නවතමින් සිටියේ මට කිසිවක් විමසන්නටවත් ඉඩ නොතබමිනි. එවේලෙහි හදවතෙහි නැඟුණු බිය මා දුටුවේ ඔහුගේ දෙනෙතිනි. ගෙවත්තෙහි තිබුණු පොකුණෙන් වතුර බිඳු කිහිපයක් ඉසූ කළ ඔබ නෙත් හැර බැලුවේ අපගේ සිතට මද අස්වැසිල්ලක් ගෙන එමිනි. අප්පච්චිගේ හා මගේ සිතට සතුටක් දැනුණේ වෛද්‍යවරයෙක් වෙත රැගෙන ගිය නුඹට කිසිදු අතුරු ආන්තරාවක් නැති වග පසක් කළ පසුයි.

කුඩාකල සිටම ඔබ කෙතරම් බුද්ධිමත්, කලාවට හිතැති දරුවකු වූවේ ද ඒ මේ සිදුවීම සිදු වූයේ ඔබට අවුරුදු දෙක හමාරේදී පමණ කාලයෙහිදීය. උදෑසන අවදි වූ ඔබගේ කිරි වීදුරුව ගෙනෙන තුරු නුඹ ගැබ දෙස බලා ඉන්නැයි මම ඔබගෙන් ඉල්ලීමි. ඒ මොහොතේ ඔබ ගෙතූ අපූරු කවි පද කිහිපය තවමත් මට අමතක වී නොමැත. ‘සරුංගලේ උඩ යනවා, අපේ ළමයි බිම යනවා’.

එපමණ සොඳුරු දියණියක වූ නුඹගෙන් අපට කිසිදු කරදරයක් නොවීය. අපගේ අවිවේකී රැකියාව පිළිබඳ ඔබට තිබුණේ අපූරු අවබෝධයකි. ඒ නිසාදෝ නුඹ සත් වසරකට බාල වූ නැඟණියත් ආරක්ෂා කර ගනිමින් අපගේ ජීවිතයට පහන් එළියක් විය. ලොවෙන් ලැබිය යුතු හොඳම අම්මාත්, අප්පච්චීත් අපට ලැබුණේ යැයි නුඹ උදම් වූ අයුරු මසිතට ගෙන එන්නේ සැනසුමකි.

නුඹට අවශ්‍ය සහකරු තෝරා ගැනීමට තරම් බුද්ධිමත් දරුවකු වග මම දැන සිටියෙමි. ප්‍රේමය නම් ඒ සොඳුරු හැඟීම ඇති වූ මොහොතෙහි නුඹ එය හෙළි කළ අයුරු මගේ සිතට රැගෙන එනුයේ ප්‍රීතියකි. මවක හා දුවක නොව මිතුරියන් දෙදෙනකු ලෙස විසූ ඒ සොඳුරු යුගය මෙලෙසින් නිමා කිරීමට සිදු වේ යැයි මම එදින නොසිතීමි.

නුඹගේ අප්පච්චීට මා නුඹගේ අදහස පිළිබඳ දැන් වූ කළ ඔහු කලබල වූයේ අපගේ ආදරයෙහි අඩුවක් වීදැයි අසමිනි. එහෙත් කරුණු කාරණා තෝරා දුන් කළ ඒ සියල්ල ඔහු අසා සිටියේ ඔබට ඇති ආදරය හදවත සඟවාගෙනය. අපගේ ප්‍රේමයට එල්ල වූ කිසිදු බාධාවක් නුඹගේ ප්‍රේමයට නොපිවිසියේ නුඹගේ අප්පච්චිගේ තිබුණු දුර දක්නා නුවණ නිසාමය. මනාලියක ලෙස සැරැසී මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථානයෙහි නුඹ නුඹගේ සිත් ගත් ඔහු සමඟ සිටිනා කළ නුඹගේ අප්පච්චීගේ දෙනෙතෙන් නැගුණු කඳුළු කැට පිසිනු මම බලා උන්නෙමි. නුඹ උපන් දිනය දා, මනාලියක වූ නුඹ සිත් ගත් අමන්ද පුතා හා විවාහ වූයේ නැවුම් කැදැල්ලකට පියඹා යෑමේ අරමුණෙනි.

නැවුම් කැදැල්ලක් තැනීමේ අරමුණෙනි. එහෙත් නුඹ අප සැම හැරදා ජුලි විසි අට වැනිදා විදේශ ගත වෙද්දී මනාලියක වුණු දිනයේ නොදැනුණු ශෝකයක් මා සිත උපන්නේ කුමක් නිසාදැයි අද ද මට නොතේරේ. එතැන් පටන් අද වනතුරු ද සිත දවන මේ ශෝකය වළක්වා ගන්නට මා දරනා තැත ව්‍යර්ථ වී ඇත්තේ මන්දැයි මට නොවැටහේ. මට මෙන්ම අප්පච්චීට ද, නැඟණියට ද නුඹ නැති අඩුව බොහෝ සේ දැනෙනා බව පමණක් මම දනිමි. ඔබ නැති ශෝකය අස්වසාලනු පිණිස නන්දා මාලිනී හා රෝහණ වීරසිංහ ගයනා මේ ගීතය අසන්නට ඉටා ගත් මම නුඹේ නිදන කුටියෙන් ඈත් වී සාලයට ගමන් කළෙමි.

‘රත්තරන් දුවේ – අපේ රත්තරන් දුවේ
ඔබයි දිවිය අර්ථවත් කළේ
ගියදා පටන් ඉගිළ කුරුලු කූඩුවේ
සංතෝෂයක් නෑ හිතේ. . .’

සංයුක්ත තැටිය වාදනය වීමෙන් ඇසෙන ගීතය හදවත පෑරුව ද ආපසු එන්නැයි අපි නුඹගෙන් නොඉල්ලමු. එංගලන්තයට වී අනාගත සිහින දකිනා නුඹටත් පුතාටත් අපි සුබ පතමු.

සුදු දුවේ, සුදු පුතේ නුඹලාගේ කැදැල්ල ආදරයෙන් සැමදා උණුසුම් වේවා!